ජීවිත දැක්ම

Posted: පෙබරවාරි 15, 2013 in Uncategorized

උරණ වූ දේවවාදියා

ජීවිතය ක්‍රීඩාවකි,
කර්මය විනිසිරු කම් කරතැයි කියූ
මගේ ක්‍රීඩාවේ නීතිය ලියූ
කොහිද ඒ විනිසුරූ

ජීවිතය ක්‍රීඩාවකි,
මාව හැමවිටම පැරදූ
කොහිද ඒ දෙවිදූ
සැමදා උන්ම දිනවූ

 

උරණ වූ අදේවවාදියා

ජීවිතය ක්‍රීඩාවකි,
මමම විනිසුරු කම් කෙරූ
කලෙම් මම ක්‍රීඩා
නොදැන දෙවි ප්‍රතිභා

නැත දිනුම් සැමදා
නැත පැරදුම් සැමදා
මගේ ජීවන හැකියා
දෙන්නේ එය විසඳා

 

උගත්කම (කේයස්)

Posted: පෙබරවාරි 15, 2013 in Uncategorized

සාගර පලන්සුරිය මහතා ගේ කවි පංතියකි

එළු සකු මගද පොත් කට පාඩමට දනී
මිනිහා පණපිටින් යන පොත් ගුලක් වැනී
වැගිරෙන විලස සාහිත රස අමර පැනී
පොතක් ලියන්නට සිතිවිලි පහල වුණී

පොළොවට ගැටගසන්නා වාගේ අහස
වද විද පොතක් ලිව්වා නොබලා වෙහෙස
කියවන අතර ඒ පොත අහගනු පිණිස
කැදවා ගති ලගට සිය පෙම්බර දිගැස

හැම වචනයම පදමට ගෙන පියකරුව
පොත කියවයි හෙතෙම සාහිත රස ඉරුව
පුදුමේ මහත අහගෙන ඉන්නට බැරුව
ඇය පැන ගියා ඔහුගෙන් දුරුව

මේ පොත නිසා බිරියත් නැති වූයේ
ඉන් පසු ඈ නොවෙයි එම ගෙදරට ආයේ
මිතුරන් ගෙදර කැදවා යළි පොත කීයේ
ඔවුනුත් එකිනෙකා ඔහුගෙන් දුරු වූයේ

පොත කියවතැයි යන සැකයේ නපුරු බයින්
කිසිවකු ගෙදර අසලින් වත් නොයන හෙයින්
පිරිසක් ලබම්දෝ මේ ගැන කොහොම කොයින්
ළතැවෙයි අපේ උගතා පිරුණු සොයින්

ජනයා බහුල හෝටලයක් අසල ඇත
මිනිහා ගියා කියවන්නට ඔහුගෙ පොත
දවසින් දෙකින් මේ හෝටලය වෙත
කිසිවෙකු බැරි වෙලාවත් යනු දුටුවෙ නැත

නේනා නිසා මිනිසුන් මේ පළාතට
නඩුවක් දැමී හෝටල් කරු අලාබෙට
උගතා බැරිම තැන පොත ගෙන බලා සිට
ගියා හන්දියට හැන්දෑ වෙලාවට

යන එන අයට අමතා නවතින්න කියා
හතර මං හන්දියෙ පොත කියයි එයා
දවසින් දෙකින් පසු මිනිසුන් එමග පියා
අරහෙන් මෙහෙන් යම්තම් ගමන ගියා

පාළුයි හතර මං හන්දිය එතැන් සිට
කතිකා කලෝ කිසිවකු එහි නොයන්නට
යෑමට ගිය නමුත් පොත ගෙන ගෙයින් ගෙට
යන කොට පටන් ගති දොරවල් වහන්නට

කිසිවකු නොරිසි මුත් පොත කියවනවාට
නොකියා ඉන්ට නම් ලීවද මොනවාට
අම්බලමට හිගන්නෝ රැස් වෙති රැට
නරකද එතැන තෝරා ගත්තම මීට

මෙහෙම සිතාලා දුරු කර හිසින් බර
පොල් තෙල් පහනේ ලා අලුතින් පහන් තිර
පහනත් පොතත් ගෙන දෙපයින් ගමන් කර
ලංවිය හිගන්නන්ගේ පැමුනුමෙන් පෙර

ගත කල මුළු දවස හිගමන පිණිස
ආවෝ හිගන්නෝ අම්බලමට සවස
වෙන දවසට වද අද මෙහි දුටු වෙනස
ඇති එක පඩිතුමා උන්ටත් පෙර පිවිස

පොල් තෙල් පහන දැල්වෙයි දුරු කර අඳුර
උගතා පොත කියයි පහදා ගෙන උගුර
කළ හැකි දෙයක් නැත කන මෙන් පහර
හිගන්නෝ නිදති එහි තැන තැන වැතිර

මැදයම් රැයෙහි හිස ඔසවා බලන කල
නැත එක හිගන්නෙක් වත් අම්බලම තුළ
අසමින් මෙන් තිබේදැයි තව උගුරෙ කෙළ
කම්මැලි වී වැනෙයි පොල් තෙල් පහනේ සීල

පඬුවා තනි වුණා රෑ අම්බලමේ පිලේ
හිගන්නෝ නිදති ගස් යට අසල කැලේ
අහගෙන සිටින්නකු නැති මුත් කියන වෙලේ
මේ පොත තුළ තිබේ උගතකුගේ මොළේ

බිරිය නඩු දමා ඇති දික්කසාදෙට
හෝටල්කරු කියයි නඩුවක් අලාබෙට
හිරිහැර කලයි මහජනයගේ විවේකෙට
මිනිහට විරුද්ධව පැමිණිලි හැබෑවට

දිනකට සිතාසී හත අට ගණනේ ලැබේ
මිනිහට විරුද්ධව පැමිණිලි බොහොම තිබේ
නඩුකාරයා පහදා දී කරපු හබේ
ඇසුවා කරුණු මොනවද නිදහසට ඔබේ

හාමුදුරුවනේ පින් අත් වෙයි ඔබට
මේ මුළු රට විරුද්ධයි මා කළ පොතට
එහි වරදෙක් තිබේ නම් බැලුමට දැනට
පොත කියවන්න එහෙනම් අවසරද මට

මේ මහ පුදුම පොත කොහොමද දැනගන්ට
නඩුකාරයා කිවුවා එය කියවන්ට
කියවා ගන්ට ලැබුනොත් අවසන් වෙන්ට
මිනිහා කැමති එල්ලුම් ගස් වත් යන්ට

ගතවිය දවසක් දෙකක් නෑ ඉවර පොත
පෙරකදෝරුවෙක් එහි බෙහෙතකට නැත
නඩුකාරයා පමණක් බැංචියෙහි මත
ලතැවෙයි තබා ගෙන අයියෝ නිකට අත

උසාවියෙ නීතියෙ ඇති අවසරයෙන්
මිනිහා කියාගෙන යයි පොත ඇති වැරයෙන්
නඩුකාරයා බේරීමට කරදරයෙන්
ඉල්ලා අස් විය බැරි තැන සිය දුරයෙන්